මාරයාගේ පළඳනාව

තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්‍යයක පිණ්‌ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක පමණ දුරක්‌ තිබිණි.

යායුතු මඟ ගල් බොරලු, කඳු බෑවුම්, කුණකටුවා, තෙල් කරවලයා වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොපළඳින භික්‍ෂුවකගෙන් පාවහන් පළඳින භික්‍ෂුවක්‌ මෙසේ විමසීය

‘ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාලවෙන්නේ ගල් ඇහෙන්නේ නැතිද?’

‘ඇත්තෙන්ම නැහැ’

උන්වහන්සේ පිළිතුරු දුන්හ.

‘ඒ කොහොමද?’ පාවහන් පළඳින භික්‍ෂුව පෙරළා විමසීය

‘මම මෛත්‍රිය කරනවා. මුලින්ම දශ දිශාවටම. ඊට පස්‌සේ මේ කැලයේ ගස්‌, ගල්, මුල්, කටු මේ හැම දෙයටම මෛත්‍රිය කරනවා. මේ පාරේ හමුවන සෑම ගලක්‌ම, මුලක්‌ම, කටුවක්‌ම, අත්තක්‌ම සුවපත් වේවා කියලා, සුවසේ වැඩේවා කියලා මම මෛත්‍රියෙන් සිතනවා. ඒ හැමදෙයටම මා ගරු කරනවා. එවිට ඔබට දැනෙයි සමහර ගල්, මුල්, කටු කකුලේ වැදී වේදනා නොදී ඉවතට යනවා’ යෑයි ඒ පාවහන් නොපළඳින භික්‍ෂුන් වහන්සේ ප්‍රතිඋත්තර දුන්හ.

සැබැවින්ම මෙය ආශ්චර්යයක්‌ නොවේ. ගල්, මුල්, කටුවලට ඔබ මෛත්‍රි කරන නිසා ඒවා මතට ඔබ කකුල තබන්නේද හරිම පරිස්‌සමෙන්. ඒවාට හානියක්‌ වේද කියන අදහසින්. මේ නිසා ඔබේ සිහිය හොඳින් වැඩෙනවා. පාද දෙකත් හොඳින් පරිස්‌සම් වෙනවා. මේ දුෂ්කර මඟ පාවහන් නොමැතිව වඩින විටදිත්……

මෙවැනි දුෂ්කර භික්‍ෂු චර්යාවන් නිවන් මඟට, ඔබගේ ප්‍රතිපදාව ශක්‌තිමත් වීමට හුඟාක්‌ ප්‍රයෝජනවත් වෙනවා. ඔබ මෙහිදී උපක්‍රමශීලී විය යුතුය. එසේ නොවුණහොත් මාරයා ඔබේ දෙපාවලට මිරිවැඩි සඟලක්‌ පළඳනවාමයි. එවිට ඔබ මගෙන් අසාවි මිරිවැඩි සඟලක්‌ පැළඳීම භික්‍ෂුවකට කැපැයි නේද කියලා.

ඔව්. සත්තකින්ම කැපයි. මිරිවැඩි සඟලක්‌ පැළඳීම භික්‍ෂුවකට කැප බවට විනයෙන් අවසර ලැබුණු දිනයේ පටන් භික්‍ෂූන්ගේ මිරිවැඩි සඟල් පාවිච්චිය වැඩිවිය. එහෙත් අරිහත් උතුමන් අඩුවිය.

මන්ද, ගලක්‌ කුලක්‌ කටුවක ඇනෙන විට, මඩ ගොඩක්‌, කසල ගොඩක්‌, රොඩු ගොඩක්‌ පෑගෙනකොට යටි පතුළට දැනෙන එහි ස්‌වභාවය, සෙරෙප්පු දමන ඔබට නොදැනෙන නිසාය. සිනිදු යටිපතුළ සෙරෙප්පුවේ පහස ලබද්දී, ඔබ විඳින්නේ සැප තෘෂ්ණාවත්, දෙපා ආරක්‍ෂාකාරී නිසා ගමනේ වේගයත් පමණි. වේගය තුළ ඇත්තේද තණ්‌හාවයි. ඔබ වේගවත් වන්නේද, වඩා ඉක්‌මනින් යමක්‌ ස්‌පර්ශ කිරීමටය. අයිතිකර ගැනීමටය. තණ්‌හාව තුළින් ගොඩනැඟෙන්නේ බවය මිස අන් කුමක්‌ද?

දරුණු සතුන් ජීවත්වන කැලයක හුදෙකලාව සිටියද, මෛත්‍රී ශක්‌තියෙන් පරිපූර්ණ නම් ඔබට සතුන් මුණනොගැසෙනු ඇත. මෙය ආශ්චර්යයක්‌ නොවේ. හේතුඵල ධර්මයක්‌ය. හේතුව මෛත්‍රියයි. එහෙත් ඔබ වඩාත් දක්‍ෂයෙක්‌ වන්නේ සතුන් ඉදිරියට ගොස්‌ ආරක්‍ෂක ගාථා හෝ මෛත්‍රිය වඩා සතුන් ඉවත්කර ගැනීම නොවේ. මෛත්‍රී බලයෙන් සතුන් මඟහරවා ගැනීමයි. ඔබ වනයට ආවේ සතුන් ඔබට දමනය වනවාදැයි පරීක්‍ෂණය කිරීමටවත්, ආරක්‍ෂක ගාථාවල ශක්‌තිය බැලීමටවත් නොවේ. මේවා කිරීමේදී ඔබට කෙලෙස්‌ උපදී. ඔබට වීරත්වක්‌වත් ආරෝපණය වේ.

‘මම’ අතහැරීමට වනයට පැමිණි ඔබ, ‘මම’ ගැන ‘වීරකථා’ නිතර කියනු ඇත. මෙය නිවන් මඟට අඩකොටයකි.

වර්තමානයේ නිවන්මඟ ජයගන්නන් හිඟවීමට මේවාද හේතූන්ය. අපි කැලයට යන්නේ ඇත් ගොව්වන් වීමටවත්, නයි නටන්නන් වීමටවත් නොවේ. ලෝකය මත අපව නටවන මාරයා නැටවීමටය. මාරයා ලෝකය තුළ ඔබව වීර චරිතයක්‌ කිරීමට උත්සාහ කළොත් එම මාර සිත් පැරදවීමට ඔබ දක්‍ෂ විය යුතුය. ලෝකය මැද වීරයෙක්‌, චරිතයක්‌ වීම නොව වීරත්වයත්, චරිතයත්, ලෝකයත් අතහැරීමට පුහුණුවීම ඔබේ කාර්යය විය යුතුය. එසේ නොවුණහොත් කැලයත්, හුදෙකලාවත් ඔබට තවත් නගරයක්‌ම වනු ඇත. වරද ඇත්තේ කැලයේවත්, හුදෙකලාවේවත්. නගරයේවත් නොව ඔබ තුළමය. ඔබ ඔබව අතහරින්න. එවිට ඔබට ඉහත සියල්ල අතහැරෙනු ඇත. සෑම නිවන්මඟ වඩන්නෙක්‌ම තමා තමාට මෛත්‍රිය කරගතයුතුව ඇත. එය කළ හැක්‌කේ මේ ඝෝර කටුක භයානක සංසාර දුක දැක තමා සසරින් එතෙරටම වෙර වැඩීමෙන්ය. මෙය තමා තමාට කරගතහැකි උත්තරීතරම මෛත්‍රියයි. තමා සසරින් එතෙර වුවහොත් මේ උත්තරීතර මෛත්‍රිය මුළු ලෝකයටම පැතිරවිය හැකිය. එහෙත් ඔබද අසරණයෙක්‌මය. ඔබ සසර නැවත මැරෙන, ඉපදෙන, ලෙඩවෙන, වයසට යන ස්‌වභාවයේ සිටිමින් අනුනට මෛත්‍රි කිරීමට යැම බුද්ධිගෝචර නොවේ.

ලෝකයට මෛත්‍රිය කරන්නට යැම පසෙක තබා, ඔබ මුලින්ම ඔබට මෛත්‍රිය කරගන්න. එය කළහැක්‌කේ ලෝකය තුළ තමාගේ අසරණභාවය, අනාථභාවය තේරුම්ගැනීමෙන් පමණක්‌මය.

අන්තිමයා වීම අගනේය…

be the lastman

මේ ආත්මභවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානය ජයගැනීමට විර්යයෙන් පෙරට යන “භික්‌ෂුවට” වත යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍යය තෘෂ්ණාවෙන් “ආරණ්‍යය මගේ, මම ආරණ්‍යයේ” යන මමත්වයෙන් කුටි හදන කානු කපන, ගොඩනැඟිලි තනන, මල් වවන දෙවල් නොවේ. භික්‍ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්‍ෂුවගේ යුතුකම ලද දෙයින් සතුටු වීම සහ ගිහි පිංවතුන් යුතුකම් මඟහරින්නේ නම්, එයද කමටහනක්‌, ලෝක ස්‌වභාවයක්‌ යෑයි ගෙන ලෝකයෙන් මිදි යැමය. භික්‍ෂුවට උපරිම මට්‌ටමින් යෑපීමට අවශ්‍ය තුන් සිවුරන් පාත්‍රයත් කුටි පහසුකමත් පමණි. නිවන් මඟේ සීමාවද මේ අවමය තුළ ගොනු වී පවතී. භවමඟේ සීමාව මීට වඩා විශාල වශයෙන් පුළුල්ය.

තමා විසින් කළ යුතු වත් රාශියක්‌ ආරණ්‍යය තුළ ඇත. මිදුල් ඇමදීම, කුටි පිරිසිදු කිරීම, දාන ශාලාවේ ක්‍රියාකාරකම්, රෝගී භික්‍ෂූන්ට උපස්‌ථානය කිරීම, බුදු මැඳුරේ පූජා කටයුතු, වැඩිහිටි භික්‍ෂූවන්ට ආගන්තුක භික්‍ෂූවන්ට උපස්‌ථාන කිරීම යන මේවා භික්‍ෂුව අනිවාර්යයෙන්ම කළ යුතුය. ආරණ්‍යයේ පැවැත්මත් පිරිසිදු භාවයත්, තමා තුළ මාන්නය වැනි කෙලෙස්‌ දුරු කර ගැනීමටත් වත අතිශයින්ම උපකාර වේ. මාන්නය, අහංකාරකම උඩගු බව ඇති කිසිවකුට භාවනාවෙන් ප්‍රතිඵල ලැබිය නොහැකිය. එවැනි අය මඟ වැඩූ කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකු දෙන නිවැරැදි උපදේශයට වඩා, ඉහළින් යැමටත්, නිතරම තමා ගුරුවරයා වීමටත්, සිතනු ඇත. අනුන්ට සවන්දීමට කැමති නොවනු ඇත. නිවීම සඳහා යන ගමනේදී උස්‌, පහත්, දුප්පත්, පෝසත්, ලොකු, කුඩා ඕනෑම දෙයක ඉගෙනීමට යමක්‌ ඇති නම් එය ඉගෙන ගැනීමට අපි දක්‌ෂ විය යුතුය. මාන්නය ඇති තැනැත්තාට මෙය කළ නොහැකිය. මේ සියල්ලටම බෙහෙත වතය.

ඔබ වැසිකිළිය පිරිසිදු කරන විට ඔබ පිරිසිදු කරන්නේ වැසිකිළිය බව නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ පිරිසිදු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුල ඇමදීමේදී, මිදුල අමදින බව ඔබ නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ අමදින්නේ ඔබගේ සිතේ ඇති කුණු බවයි. නිවන් මඟට සිත පිරිසිදු කරගත යුත්තේ මෙසේය. මාරයාගේ ස්‌වභාවය ඔබට ලකුණු සහ හොඳ නම ලබාදීමට ඔබව පෙළඹවීමය. ඔබ ලකුණු දිය යුත්තේ මාරයාට නොව ඔබගේ නිවන් මඟටය.

ඔබ සිතිය යුත්තේ වැසිකිළිය කිසිවෙක්‌ නොසෝදා ඇත්තේ, මිදුල කිසිවෙක්‌ අතු නොගා ඇත්තේ ඔබේම යහපත සඳහා බවයි. ඔබ ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. මෙවැනි වත් ඔබ මඟහරින විට, ඔබේ සිත කුණු අශූචි වැනි කෙලෙස්‌වලින් දිනපතා පිරෙන බව වටහාගත යුතුය. කුණුවලින් පිරිණු සිත මාරයාට හොඳ තෝතැන්නකි. සෑමවිටම ස්‌ථානයේ සිටින වැඩිපුරම පඩික්‌කම් සෝදන භික්‍ෂුව වීමට ඔබ මැලි නොවිය යුතුය.

නිවන් මඟේ හික්‌මෙන භික්‍ෂුව සෑම විටම නිහතමානීකමේ උපරිමේ සිටිය යුතුයි. කෙනෙක්‌ ඔබගේ හිසටය අත සේදුවද එය ඔහුගේ ස්‌වභාවය යෑයි සිතා ඔබ ඔබේ ස්‌වභාවය තුළ නොගැටී සිටිය යුතුය. ඔබ හැමෝටම පසු පසින් සිටීමටත්, දහසක්‌ දේ ඔබ දන්නවා වුවද, කිසිත් නොදන්නෙක්‌ සේ පිරිස ඉදිරියේ හැසිරිය යුතුය. ඔබ ගොළුවෙක්‌ නොවේ. අහන දෙයට පිළිතුරු දෙන අයෙක්‌ විය යුතුය. මෙසේ ඔබ හැමෝටම පසුපසින් යැමට කිසිම පැකිළීමක්‌ දැක්‌විය යුතු නැත. පසු පසින් යන්නාට සෑම විටම ඉදිරියෙන් යන අය දෙස බලා යැමත් ඉගෙනගත හැකිය. ඉදිරියෙන් යන සියල්ලන්ගේම ගුණ අගුණ, හැසිරීමේ අංග චලනයේ ස්‌වරූපය, විවිධත්වය නිරීක්‍ෂණය කළ හැක්‌කේ පසුපසින් යන්නාටය. ඒ අයගේ හොඳ ද, නරකද ඔබ බැහැර කළ යුතුය. සියල්ලන් තුළ ඇත්තේ සතර මහා ධාතූන්ගේ විවිධත්වයක්‌ පමණක්‌ බව දැකිය යුතුය. තමා අන්තිමයා වීමෙන් ලද අවස්‌ථාවෙන් ඔබ ප්‍රයෝජනය ගන්න. තමා අන්තිමයා වීමෙන් තමන්ට අන් හැමෝම දකින්නට ලැබීමත්, ඉදිරියෙන් යන අයට තමාව දකින්නට නොලැබීමත්, ඔබ ලැබූ භාග්‍යයක්‌ බව දකින්න. ඔබ අහිංසක ලෙස මෙම ලෝක ධාතුව තුළ මනුෂ්‍යයකුට යා හැකි ශ්‍රේෂ්ඨම ගමන යන විට වැඩිහිටි ස්‌වාමීන්වහන්සේලා ඔබගෙන් අසාවි “ආයුෂ්මතුන් මහණ වුණාට මොකුත්ම දන්නෙ නැහැනේ. සිවුරු හැරලා යන්න හිතාගෙනද ඉන්නේ” වැනි ප්‍රශ්න. මෙවැනි අවස්‌ථාවලදී ඔබ නොදන්නා බව හඟවන්න. ඔබ දන්නා බව කියන්න ගියොත් ඒ වැඩෙන්නේ මාන්නයමය. ඒ ප්‍රකාශය කරන්නේ මාරයාය. ඔබ කලබල නොවන්න. ඒ හිමිවරු කියන දෙයට නිහතමානීව සවන් දෙන්න. ඔබ මේ සියලු ක්‍රියාකාරකම් ඔබට අයිති දේවල් නොවන නිසා අතහරින්න. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කර නොගන්න. ඔබගේ මේ අත්හැරීමේ ක්‍රියාව දැනගත යුත්තේ ඔබම පමණකි. දෙවැන්නෙන් එය දැනගතහොත්, ඒ ක්‍රියාත්මක වූයේ මාරයාය. නිවීම ඔබ තනිවම යා යුතු ගමනකි. අවසානයේ ඔබද ඔබට අතහැරෙනු ඇත. ඔබද ඔබට අතහැරෙන මොහොත භවගමන නිමා වන මොහොතයි. මේ ජයග්‍රහණයට මඟ වියදම් දෙන්නේ “වත” බව දෙවරක්‌ නොසිතාම ඔබ දැනගත යුතුය. මඟ වියදම යනු නිහතමානීකමයි. නිහතමානීකමේ උපරිමය මමත්වයේ නිවීමයි.

බුලත් කෙල බැඳුණ පඩික්‌කම, මුත්‍රා කහට බැඳුන වැසිකිළියක, මකුළුදැල් බැඳුන දාන ශාලාවක, නිවීම සඳහා අවශ්‍ය කළමනා ඇති තැන් බව අමතක නොකරන්න. මමත්වයේ නිවීම සැබැවින්ම ඔබට අත්දැකිය හැක්‌කේ නිහතමානීකමේ උපරිමයට ඔබ පැමිණි කල්හිමය.

ඔබ මාරයාව තැතිගන්වන්න…

මාරයාමේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස්‌ පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක්‌ දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස්‌ වෙයි. කෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක්‌ නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ ශාසනයේ හික්‌මෙන ළමා තරුණ භික්‍ෂූන් වහන්සේලා හට නොව, ජීවිතාවබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක, මේ සියල්ල තුළින් රැස්‌වන්නේ දුකම බව දැක, ගිහිබැමිවලින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදීමේ ජීවිතයේදීම නිවීම සාක්‍ෂාත් කරගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීර්යවන්තයන්ටය. මෙවැනි සත් පුරුෂයන් විශාල පිරිසක්‌ මේ ශාසනයේ සිටින බව සත්‍යයකි. ඒ මග යන්න ඔබ රුචිනම් ඔබටද මග විවෘතය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මග කියාදී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිතිය යුතුය. මා පැවිදි වූයේ අනුනට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමිනමකගේ ඊළඟ උරුමක්‌කාරයා වීමට නොව, දිව්‍ය බ්‍රහ්ම සංඥ වැඩීවීමට නොව මේ ආත්මයේදීම නිවන් මග පරිපූර්ණ කරගැනීමට බව සිතීමට ඔබට ශක්‌තිය තිබිය යුතුය. ලොව්තුරා බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකිවීමයි. මාරයාගේ ධර්මය අනුව නිදහස යනු මීට විරුද්ධය සිතීමයි.

බුදු පුතකු ලෙස මුලින්ම ඔබට නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, පිරිත් පොතේ, ත්‍රිපිටකයේ හෝ නොව තමා තුළම බව සිතිය යුතුය. ඉහත කිසිවක්‌ තුළ නිවීම නොමැත. දැනුම, ආදර්ශ, මාර්ගය ඉහත කරුණු කාරණා තුළ ඇත. ඒ ගැන තර්කයක්‌ නොමැත. ඔබ ධර්මය ඉගෙනීමට පොතපතට යොමු වුවහොත් ඊළඟට සිදුවන්නේ දැනුම, පණ්‌ඩිතභාවය වැඩිවී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වීමට යැමය. එසේ නොමැති නම් මිහිරි ස්‌වරයෙන් බුදුමැදුරට, බෝ මළුවට කොටුවී පූජාවන් පැවැත්වීමටය. ගිහි දායකයෝ මේවාට ඉතා ප්‍රියයි. භික්‌ෂූන්වහන්සේටද ලැබෙන ලකුණු, ජනප්‍රියභාවය, සැලකිලි ඉහළය. දෙපාර්ශ්වයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස්‌ ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතුවේ. අවසානයේ සියලු දේ අතහැර පැවිදිවූ හාමුදුරුවෝ දායක පිංවතුන් සතුටු කරන රූකඩයකි.

මෙහිදී ඔබ දක්‍ෂ විය යුතුයි සියල්ල අතහැරීමට. හැබැයි ඔබට වඩා දක්‍ෂ මාර්ගය වැඩූ කල්‍යාණ මිත්‍රයන් ඔබ ආශ්‍රය කළ යුතුය. ඔබ එය මගහරින්න එපා, ඔබ ශක්‌තිමත් තැනකට එනතුරාවට, නිරතුරුවම ඔබ ඉදිරියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව, සැරියුත් මහෝත්තමයන්, මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව, ඔබට අවවාද දෙන බව ඔබ සිතන්න, දකින්න, මීට වඩා ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නෑ ඔබට.මෙම ගමනේදී, ඔබට හැමෝම කියාවී රැස්‌කරන්න කියලා. මොනවද? දැනුම, ගාථා පිරිත්, සූත්‍ර, අභිධර්ම, බණ… මේ සියල්ල ඔබ අතහරින්න, ඔබ සැහැල්ලුවන්න. හැම බරකින්ම නිදහස්‌වන්න උත්සාහ ගන්න. නිවීම කියන්නේ මෙහෙයුමක්‌. මේ මෙහෙයුමට ඔබට අවශ්‍ය වන්නේ තුන් සිවුරත්, පාත්‍රයත්, හුදෙකලා වන කුටියත් පමණයි. ඔබ ශීලයෙන් සමාධියෙන් පරිපූර්ණ බවට පත්ව ඇති බව ඔබට විශ්වාසනම්, ඔබගේ ශීලය ගැන ඔබට කුකුසක්‌ නොමැතිනම්, වනයේ හුදෙකලා කුටියක්‌ තෝරාගැනීමට ඔබ සුදුස්‌සෙක්‌. ඔබගේ ශීලය ගැන ඔබට විශ්වාසයක්‌ නොමැතිනම් වනයේ කුටියක හුදෙකලා වීමට ඉක්‌මන් නොවිය යුතුය. ඔබ ශක්‌තිමත් නොවීම මාරයාට ගොදුරකි. වනයේදී ගල්කුටියේදී අමනුෂ්‍යයන් ඔබව වහලෙක්‌, රෝගියෙක්‌, මානසික ලෙඩෙක්‌ කරනු ඇත. ඔබ පසුබට නොවන්න. මගවැඩූ කල්‍යාණ මිත්‍රයකුට කෙටි කමටහන් කිහිපයකින් ඔබව ශක්‌තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී ශීලය යනු ඔබ සාමණේරද, උපසම්පදාද, මොන නායක ස්‌වාමීන්වහන්සේගේ ගෝලයෙක්‌ද, යන්න නොව, ඔබ නිවැරැදි බවට ඔබ තුළ ඇති විශ්වාසය පමණි. ලොව්තුරා ධර්මය කෙරෙහි, ඔබ කෙරෙහි ඔබ විශ්වාසය තබන්න. අවශ්‍ය වේලාවට කල්‍යාණ මිත්‍රයකුගෙන්, ගුරුවරයකුගෙන් අවශ්‍ය උපදෙස්‌ ලබාගන්න.

තමාගේ ආරක්‍ෂාවට අවශ්‍යම මොහොතේදී පමණක්‌ භාවිතයට තෙරුවන් වඳින ගාථා තුනක්‌, කරණීයමෙත්ත සූත්‍රයත්, කන්ද පිරිතත් ඔබ අර්ථ වශයෙන් දැන සිටියොත්, එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අතහරින්න, අත්හැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මග වැඩීම පහසුකරගත හැක. අන් සියල්ල ඔබ අතහැරීමට දක්‍ෂ වූයේ නම් පමණක්‌, ඔබ දැන් නිවන් මෙහෙයුමට සූදානම්ය.

හැබැයි මේ වන විට ඔබ ළඟ පාවිච්චියට මුහුණ බලන කණ්‌ණාඩියක්‌, උණුවතුර බෝතලයක්‌, ශීතලට පොරොවන පෙරෝනයක්‌, මේ වගේ දේවල් තිබුණොත් ඔබ තවම සූදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුළ තිබෙන්නේ “මගේ කයේ සැප” පිළිබඳ ෙච්තනාවයි. සියල්ල අතහරින්න. එතෙක්‌ ඔබ සූදානම් නොමැත. මුහුණ බලන කණ්‌ණාඩිය අතහැරීමට බැරි කෙනකුට කය අතහැරීමට කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත බුදු සමිඳුන් සිතින් මවාගන්න. ඔබේ හදවතට වඩම්මවාගන්න. නිරතුරුව ඔබ උන්වහන්සේගේ සෙවණෙහි සිටින බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩින විට ඔබ ඉදිරියෙන් බුදු සමිඳුන් වඩිනා බව දකින්න. සැරියුත්, මුගලන්, ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිතින් මවාගෙන ඒ උතුමන් සමඟ සිතින් ජීවත්වන්න.

උන්වහන්සේලා සමඟ හදවතින් මුමුණන්න. උන්වහන්සේලාගේ ඇවැතුම් පැවැතුම් ඔබේ ජීවිතයට එක්‌කරගන්න. උන්වහන්සේලා නිවන් අවබෝධ කරගැනීමට ගත් වෙර වීරිය මනසින් දකින්න. චක්‌ඛුපාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවාගන්න. ඉහත උපක්‍රම භාවිතකොට ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු කරගන්න. මාර බැමි එකිනෙක කඩාදමමින්ද, අත්හළයුතු දේවල් අත්හරිමින්ද ඔබ සූදානම් වන්න. හැබැයි ඔබ ලෝකයා ඉදිරියේ රහතන් වහන්සේ කෙනකු ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මාරයාගේ මල්ලටය. ස්‌වභාවධර්මයත් ඔබත් දෙකක්‌ නොව එකක්‌ බවට පරිවර්තනය කරගන්න දක්‍ෂවන්න, ඔබ ඉදිරියේ තිබෙනා රූස්‌ස ගසත් ඔබේ කයත් සංසන්දනය කොට බලන්න. දෙකම ධාතූන්ගේ විවිධත්වය පමණක්‌ බව දකින්න.

ඔබ නැවතත් හිතන්න, ඔබ තවම මඟ වැඩීමට සූදානම් වන භික්‍ෂුවක්‌ පමණයි. ඔබ හැකිතාක්‌ විවේකීව සිටින්න. දිනකට මෙච්චර වේලා භාවනා කළ යුතුයි, රාත්‍රි නිදිවරා භාවනා කළ යුතුයි යන සිතිවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අධිෂ්ඨානයක්‌ ඇතිකරගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ, වීර්ය වඩන්නේ මාගේ අවසන් හුස්‌ම මේ කයෙන් පිටවන මොහොතේ කිසිම ඇලීමක්‌, බැඳීමක්‌, ගැටීමක්‌ නැතිව පිටකිරීමට පමණක්‌ බව සිහිකරන්න. මොන හේතුවක්‌ නිසාවත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ග ඵල ගැන නොසිතන්න. ඒවා කෙළෙස්‌ ධර්මයන් බව සිතන්න. මාර්ගඵල වලට ඇති ආශාව අතහරින්න. ඔබ මාර්ග ඵල තණ්‌හාවෙන් අනාගාමී වීමට ගියහොත් ඔබේ වටිනා ජීවිතය අනාගන්නා බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමතනම් නිදාගන්න. සරළව, පහසුව, නිදහස්‌ව සිටින්න. ඔබ මේ ආකාරයේ ප්‍රතිපදාවක යෙදෙන බව කිසිවෙකුට නොහඟවන්න. ඉන්ද්‍රියයන් හයට ඵස්‌ස වන සෑම රූපයක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින්, සිතත්, කයත්, පරිසරයත් සමග නොගැටී සිතන්න.

ඔබ නිරතුරුවම සිතන්න, ඔබ මේ සටන් කරන්නේ මාරයා සමඟ බව. ඔබට අවශ්‍ය සෑම වේලාවකම මාරයාව රවට්‌ටන්න. බිය ගන්වන්න. තැති ගන්වන්න. ඔබට මුලින් කීවනේ අරිහත් උතුමන් සමග මනසින් ජීවත්වන්නටය කියලා. ඒ මාරයාව රවට්‌ටවන්න කරන දේවල්. දැන් ඔබ මාරයාව තැති ගන්වන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිනිsවීම මනසින් දකින්න. එම ධාතූන් වහන්සේලාගෙන් ගොඩනැගුණු ස්‌ථූපයන් දකින්න. ඒ ද විනාශ වන බව මනසින් දකින්න.

දැන් නැවතත් ඔබ මාරයාව රවට්‌ටන්න. රුවන්වැලි මහාසෑය, කිරිවෙහෙර මහාසෑය, ජයසිරිමා බෝ සමි¹ණන්, දන්ත ධාතූන් වහන්සේ සිතින් මවාගෙන සාධුකාර දෙන්න. දැන් නැවත මාරයාව තැතිගන්වන්න. ඉහත වන්දනීය පූජනීය වස්‌තූන්ද කාලගුණික, දේශගුණික, යුදමය හේතූන් නිසා විනාශ වී යනවා දකින්න. මේ සියල්ලේම අනිත්‍ය බව දකිමින් ඔබේ ආධිපත්‍යය මාරයා මත ටිකෙන් ටික පටවන්න.

ලෝක ධාතුවේ හැමදෙයකම අනිත්‍යය ඔබ මනසින් දැක මාරයාව කම්පා කරවන්න. තැතිගන්වන්න. දැන් ඔබේ රාජකාරිය මෙයම විය යුතුය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක සිට ඔබව මුළා කරමින්ද, සතර අපායට, මනුෂ්‍ය, දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද, ඔබ කෙරෙහි ආධිපත්‍යය පැතිරූ මාරයාට ටික ටික රිදවන්න.

බොක්‌සිං තරගයකදී ප්‍රතිමල්ලවයාට සෙමින් සෙමින් පහරදෙමින්ද, උපක්‍රමශීලීව පහරදෙමින්ද ප්‍රතිමල්ලවයා හෙම්බත්කොට අවසාන මරු පහර කිහිපයකින් ඔහුව බිම දමන්නා සේ, ඔබද මාරයාව උපක්‍රමශීලීව රවට්‌ටන්න. ඔබේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන සෑම රූපයක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මගහරින්න එපා. රූප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත් ද මන්දගාමීද නොවන්න. ඔබේ ස්‌වභාවය තුළම ඔබ කටයුතු කරන්න. දැන් මොන මාර්ගඵලයකද ඉන්නේ, තව කොච්චර කල් යයිද? මට පුළුවන් වෙයිද?………..

මේ මාර සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක්‌ දුටු සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක්‌ ඔබ තුළ ඇතිවන්නේ එම රූපය විනිවිද දකින්නට උත්සාහගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්‌මන් වේවි. අදාළ රූපය සුරූපීs කාන්තා රුවක්‌ කියා සිතන්න. ඔබ ඇය මව්කුසේ සිටිනවා දකින්න. ඉස්‌ගෙඩියෙක්‌a ලෙසින් පටන්ගෙන, නව මාසයක්‌ බැලුම් බෝලයක්‌ වැනි මව්කුසේ විඳි අනන්ත වේදනා, මර ළතෝනි දීගෙන ලෝකයට බිහිවන, මළ මුත්‍රා ගොඩේ දඟලන ළදරු වයස……

ළමා, තරුණ, මධ්‍යම, මහලු වශයෙන් එම රූපය දකින්න. ඔබ දුටු ලස්‌සන රූපය ඇටසැකිල්ලක්‌ කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල්, නහර, මස්‌ එල්ලාගෙන සිටින ස්‌වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත්කොට සම්, මස්‌, නහර විනිවිද ගොස්‌, සම නමැති උරයට පුරවා ඇති ජරාගොඩ දකින්න.

ලස්‌සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොව, තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුළ බව සිහිනුවණින් දකින්න.

පංච උපාදානස්‌කන්ධය, සප්ත බොඡ්ජඞග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්‌ඨානය ධර්මතාවන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව, ඔබ, රූපයේ අනිත්‍ය බව දකිමින්, ප්‍රඥාවෙන් තීව්‍රර වන විට ඔබ ලබන අවබෝධය තුළ නොදැනුවත්වම ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවන් බව සිතන්න.

ඔබ තවම සිටින්නේ පුහුණු මට්‌ටමකය. තවම තරගය පටන් ගත්තේ නැත. තවම ඔබ තරගයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්‌තිමත්ව උණුසුම් වන තරමට තරගයට ජවය ලැබේ. මෙය මුළු ලෝක ධාතුව තුළම තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි. තරගයකි. තරගයෙන් ඔබ දිනුවොත් ඔබ ලෝකයෙන් එතෙරට යන කෙනෙක්‌ය. ඔබ මේ යෙදී සිටින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා, අරිහත් උතුමන් උත්තමාවියන් තරගකොට ජයගත් තරගයකටය. මේ තරගයෙන් රාහුල, සෝපාක, නිග්‍රෝධ වැනි දරුවන්ද ජයගෙන ඇත. පටාචාරා, ඉසිදාසි වැනි කාන්තාවන්ද ජයගෙන ඇත. පුහුණුව සාර්ථක නම් ජයග්‍රහණය ස්‌ථිරය.

ඔබ සරළ වන්න. සැහැල්ලු වන්න. නිදහස්‌ව සිටින්න. අවශ්‍ය වේලාවේදී පැන් පහසු වන්න. පොරවන සිවුර දහඩිය ගඳ නම් සෝදාගන්න. කුටිය මිදුල පිරිසිදුව තබාගන්න. අනිත්‍ය දකිනවා කියා අපිරිසිදුකම ළඟට නොගන්න. අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්‌පේන්තු අනිත්‍යයකි. එය මාර බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්‌ථ වන්න. අසුභය දැකීමට නම් සාපේක්‍ෂව ලස්‌සන සහ පිරිසිදු බව තිබිය යුතුය. ඒ ලස්‌සනට නොඇලීමට ලස්‌සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්‌තිමත් විය යුතුය. මේ ලෝකයේ සියලුම ලස්‌සන රූප ඔබේ කමටහන් විය යුතුය. හින්දි සිනමාවේ සුරූපීම නිළියත් වැඳිරියක්‌, ඇටසැකිල්ලක්‌ සේ දැකීමට ඔබට හැකි විය යුතුය. ඒ අවස්‌ථාව ඔබට ලැබුණේ ඇය සුරූපී වූ නිසාය. ලස්‌සන නොමැති ලොවක ඔබට අසුභය වැඩිය නොහැක. අවලස්‌සන බවට යමක්‌ පත්වන්නේ ලස්‌සන තිබුණහොත්ය. මන්ද ලස්‌සන අනිත්‍ය වී අවලස්‌සන ඇතිවන බැවිනි. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය.

ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවි. මොකද දැන් ඔබේ හදවත හැබෑ බුදුකුටියක්‌ නිසා. උන්වහන්සේ ඔබට කියාදෙනු ඇත. ඊළඟට ගතයුතු මඟ සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. මෙවිට ඔබ සද්ධන්ත හස්‌තිරාජයෙකු සේ වීර්යයෙන් නැඟී සිටීවි. ඇයි දන්නවද? ඔබට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් වැටහෙනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ වැඩසිටින බව. ඔබට කමටහන් දෙන බව ඔබට වැටහේවි. මෙහිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහ නිවන් මඟ යනු දෙකක්‌ නොව එකක්‌ බව ඔබට වැටහේවී. නිවන් මඟ වඩන්න. බුදු සමිඳාණන් දකින්න.

මේ විශ්වාසය තුළ ජයග්‍රහණයේ දොරටුව ඇත. ඔබගේ උත්සාහයෙන් එය විවෘත කරගන්න. ඔබ දොරටුව විවෘත කර ගතහොත් ලෝකය තුළ ඔබ නිවෙනු ඇත. එවිට දෑස්‌ පියාගත් සැණින් මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී බුදුසමිඳුන්වත් අට්‌ඨික සංඥාවෙන් දැකීමට සිදු වනු ඇත. එයට ඔබ ශක්‌තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යය. එතෙක්‌ ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්‍ෂකයා වශයෙන් වැඩමවා ගන්න දක්‍ෂ වන්න. නිසි වේලාව පැමිණි විට ඔබගේ ශාස්‌තෘන්වහන්සේද අතහරින්න ඔබට අනිවාර්යයෙන්ම සිදු වේවි. මන්ද උන්වහන්සේ තුළද සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොවන බව ඔබට අවබෝධ වන නිසාය.

ගිහිවත

ගිහිවතපැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තුවන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදිවීමට ඉක්‌මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්‌වාමීන් වහන්සේලාගේ ස්‌වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය ස්‌වභාවය නිසා විවිධත්වයක්‌ ඇතිවීම ස්‌වභාවිකය. අප පුදුම විය යුත්තේ එසේ නොවුණහොත්ය. අනුන්ගේ වැරැදි ඔබ අතහරින්න. ඔබ ඔබේ අරමුණ කරා යන්න. පන්සලේදී හැමෝගේම සේවකයා, දාසයා ඔබ වන්න. නිදහසේ ජනතාවට වඳින්න පුදන්න සිල් පිරිසට සිව්පසය සපයන්න ඔබ මැදිහත් වන්න. අනුන්ගේ පැමිණීම දායකත්වය ඔබ නොසොයන්න. ඔබේ අරමුණ උදෙසා වෙහෙසවී සියල්ල කරන්න. හැමගේම සිත් තුළ ඇතිවන කරුණාව මෛත්‍රියෙන් ඔබ ඔබේ ආධ්‍යාත්මික ශක්‌තිය ලෝකයට හොරෙන් ශක්‌තිමත් කරන්න. ඔබ සිදුකරන සෑම ක්‍රියාවකට අනිත්‍යය දකින්න. ඔබ මැදිහත්ව කළ ද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සැවොම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්‌තිමත් වන්න. දායකයන් උදෙසා බෝධිපූජා, පෙරහැර, කඨින පිංකම්, දානමාන සංවිධානය කොට ඔබ ඒවායේ අනිත්‍ය පමණක්‌ දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්‌තිමත් වන්න. අනුන්ගේ කුස පුරවා ඔබ නිරාහාරව ඉන්න. ඒ බව අන් අයට නොහඟවන්න. වයෝවෘද්ධ ස්‌වාමීන්වහන්සේලා සිටී නම් උන්වහන්සේලාට උපස්‌ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න.

සමාජසේවයට කැපවී අනුන් සතුටුකොට අනුනට සේවයක්‌ කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ලාභය කීර්තිය ප්‍රධානත්වය නොව, තම ඉලක්‌කය නිවන් මගය කියා අරමුණ සිහිකරන්න. ලෝකයට කොතෙක්‌ මහන්සීවී වැඩ කළද පොඩ්ඩ වැරදුන විට ලැබෙන්නේ ගල්මුල් දොස්‌ පරොස්‌ බව ඔබ දකින්න. විවේචන, අසත්පුරුෂකම්, නොසලකාහැරීම්, ලෝකයේ ස්‌වභාවය බව දකින්න. අප පුදුමවිය යුත්තේ ඒවා නොමැති නම් බව සිතන්න. අනුන්ට සේවය කරමින් අනුන්ව සතුටු කරමින්, ගුණ අගුණ අසමින් අනිත්‍යය දකින්න. ලෝකයේ ස්‌වභාවය මෙනෙහි කරමින් ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න.

රෝගීන්ට උපස්‌ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක්‌ යනු දේවදූතයෙක්‌ බව දකින්න. රෝගියාගේ කයේ ස්‌වභාවය, ඔහු විඳින වේදනාවේ ස්‌වභාවය, රෝගයේ ස්‌වභාවය ඔබට ද පොදු බව සිතන්න. ඔබේ ස්‌වභාවයද එයම බව දකින්න. ඔහුට උපස්‌ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබ මාස දෙක තුනකට වරක්‌ මහ රෝහලට, ළමා රෝලට, පිළිකා රෝහළට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්‌ටුවල ඇවිදින්න. ඔබ රෝගීන්ගේ දුක බෙදාගැනීමට නොයන්න. වේදනාවෙන් ලතෝනි දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම හඬ බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස්‌ ගැලවී ගිය. පියයුරු ඉවත් කළ රෝගී පිංවතුන් ඔබ කමටහන් කරගන්න. හින්දි සිනමාවේ සුරූපීම ශිල්පිනියටද ශිල්පියාටද මෙම ස්‌වභාවය පොදු බව දකින්න. ඔබේ සිතට නිතර රාග සිත් ඇතිවේ නම් ඔබ කාන්තා රෝහලකට ගැබිනි වාට්‌ටුවට ලෙඩුන් බලන වේලාවට යන්න. දරු ප්‍රසූතියට සූදානම් වූ සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම් රටා ඒ අයගේ ස්‌වභාවය මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් දකින්න. එය ඔබගේ රාග සිත මරා දමනු ඇත. පාරිභෝගික විසිතුරු ලෝකයේ ඔබ මුළා කරන රස නහර පිනායන පාරිභෝගික ද්‍රව්‍ය පිරීගත් සුපිරි වෙළෙඳ සංකීර්ණවල සෑම ආහාරයක්‌ම මේ කය පෝෂණය කිරීම සඳහාය යන්න දකින්න. එහිම රාක්‌කයක ඇති විසිතුරු දවටනයක බහාලු සනීපාරක්‍ෂක තුවා ඇත්තේ කුමන අපද්‍රව්‍යයක්‌ සඳහා දැයි නුවනින් දකින්න. මලු පුරවා කරත්තය තල්ලුකොට උජාරුවට බඩු ගෙනගියද අප සැවොම පෝෂණය කරන්නේ අපවිත්‍ර ශරීරයක්‌ බව දකින්න. හැමදෙයක්‌ම කමටහන් කරගැනීමට ඔබ දක්‍ෂවන්න.

ඔබ බසයක යනවා නම් ඔබ වාඩිගත් අසුන සුදුසු ඕනෑම අයකු වෙනුවෙන් දීමට මැලි නොවන්න. ඔබ කතරගමට යැමට කොළඹින් බසයක නැඟ පානදුරට ළංවෙද්දී, ඔබගේ අසුන් සුදුසු යමෙකුට ලබාදීමට අවශ්‍යවුවහොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යැමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ වුවමනාව උදෙසා කැපකරන්න. අන් අය ඔබට අවඥාවෙන් සිනාසුනිද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබේ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්‌තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබාගන්න. අනුන්ව ආමිසයෙහි යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකය මුළාකොට ඔබ ලෝකයෙන් එතෙරවීමට මඟ හදාගන්න. නිවන් මඟ සොයායැම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ලන් අත්හැර, සියල්ලන්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න.

ඔබ සුවසේ ලෝකයෙන් එතෙර වීමට දක්‍ෂ වුවහොත්, ලෝකයාගේම යහපත උදෙසා ලෝකයාගේම පරාර්ථය උදෙසා ඔබට මහන්සි විය හැකිය. පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න.

ඉහත ක්‍රියාකාරකම් තුළින් ඔබ ලබන සතුට ආරක්‍ෂක දෙවියන්ටද අනුමෝදන් කරන්න. ඔබ යන ගමනේදී බාධක මගහැර ආරක්‍ෂාව සලසාගැනීමට නොපෙනෙන බලවේගද සතුටුකොට, ඒ අයගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට උත්සාහ ගන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට අවශ්‍ය වේලාව පැමිණෙනතෙක්‌ ප්‍රමාද කරන්න. ඉක්‌මන් නොවන්න වගබලාගන්න. ඔබ හැමවිටම ඔබේ සිතේ අවිචාරවත් බව විචාරයට ලක්‌කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහළින් ඇති ප්‍රඥාවේ ඇසින් නිරතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්න. ඇතිවෙමින් නැතිවෙන සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න.

ඔබ තවමත් ගිහි පිංවතෙකි. ඔබේ ඉන්ද්‍රියන් කැමති හැමදෙයක්‌ම අත්දැකීමෙන් රස විඳ බලා එහි අනිත්‍යය දකින්න. ඔබට ඒ නිදහස තවම ඇත. අත්නොවිඳ, අත්නොදැක අනිත්‍යය දකින්නට යැමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතුවිය හැකිය. ඔබ වැඩියෙන් ආශා කරන, කැමති දෙයක්‌ වෙතොත්, නැවත නැවත ඒ දෙය රසවිඳ ඒ කැමැත්තෙන් මිදෙන්න. කැමති දෙය අත්දකිමින් අත්විඳිමින්, අවබෝධය ලබමින්, අනිත්‍යය දකිමින්, අත්හැරීමට පුරුදුවෙමින් “ගිහිවත” සම්පූර්ණ කොට නිවන් මඟ වඩන්නට සසුන්කෙතට පියනඟන්න.

ගිහි ජීවිතය තුළ ඔබ සිත පමණක්‌ පැවිදිකරගන්න. ඔබ පුරුදුකරන්න, අවම සම්පත් සමග හුදෙකලාව ගත කරන්න. ඔබ පරීක්‍ෂාකර බලන්න පාවහන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදිය හැකිද කියා. ඇඳුම් කට්‌ටල දෙකකින් ජීවත් වන්නට පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක්‌ ඔබට ප්‍රමාණවත්ද කියා. ඔබ කැමතිම, ආශා කරනම රූපයක්‌ ඔබට අතහරින්න පුළුවන්ද කියා. ඥාතීන්, ගේදොර අතහැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශක්‌තිය තිබෙනවාද කියා. පිළිතුර “ඔව්” නම් පැවිද්දට දැන් ඔබ සැබෑම සුදුස්‌සෙක්‌. ඉහත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබ්බට ගොස්‌ ජීවිතාවබෝධයෙන් මේ ආත්මභාවයේදීම නිවන උදෙසා වීර්යය වඩන අධිෂ්ඨානසහගතව නිවන් මඟ වැඩීමට හැකි පිංවතුන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. ශාසනය ආරක්‍ෂා කරගැනීමට, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සුගති ප්‍රාර්ථනා කරන, රට ජාතිය ආගම ආරක්‍ෂාකිරීමට බලාපොරොත්තුව පැවිදි වන පිංවතුන්ට ඉහත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. මන්ද, එම උතුමන් දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරන, නොදැනුවත්භාවය නිසා ඉහත අරමුණු තුළ සැප ඇතැයි කියනා බලාපොරොත්තුව තබාගෙන සිටින නිසාය. එවැනි උතුමන් ආරක්‍ෂාකරදෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින්, දක්‍ෂයා ලෝකයෙන් එතෙරවීමට උත්සාහවන්ත විය යුතුය. ඔබ ලෝකයෙන් එතෙරවීමට දක්‍ෂ වුවහොත් එය ශාසනය ආරක්‍ෂා කරන ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලාටද මහත්ඵල මහානිශංස කුසලයක්‌ වනවා ඒකාන්තය.
 

ඔබත් සොබාදහමත් අතර පරතරයක්‌ නොතබන්න

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි.

රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳියි. නැවත මැකී යයි.

රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස්‌ කර ගන්නේවත් ගොඩගසා ගන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙලෙස්‌ තීන්තය. එහි ඝන භාවයක්‌, ගොරෝසු භාවයක්‌, ඇලීමක්‌, ගැටීමක්‌, උපේක්‌ෂාවක්‌ නොමැත. ඒවා නිවුණු තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නමැති පිරුවටය සැමවිටම නොකිළිටියි. කොතැනකදීවත් සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොදකින ඒ සිත නිරතුරුව අනිත්‍යය දැක මැකී යන රූපම අඳියි. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්‍රතිබිම්බයයි. ගිහි පැවිදි නිවන් මඟ වඩනා ඔබද මමද සොයා යන්නේ ඔන්න ඔය ස්‌වභාවයේ නිදහසයි.

ජීවිතයේ සියලු බැඳීම් හිස්‌කළ තැන, එතැන නිදහසයි. පැවිදිවීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත් වන්නේ, එතෙක්‌ තමා රැස්‌කළ අයිති කොටගත් සියලු ලෞකික සම්පත් අයින් කොට දමාය. ඔබ එසේ සියල්ල අයින්කොට දමා පැමිණෙන්නේ ඇයි? අයින්කොට පැමිණි සියල්ල අතහැරීම සඳහාය.

හොඳින් සිතන්න. අයින් කිරීමත්, අතහැරීමත් අහසයි පොළොවයි මෙන් පරතරය ඇති දෙයකි. පැවිදි වීමෙන් පසු ඔබ කළ යුත්තේ අයින් කළ දේවල් අතහැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය. මොනවද ඔය අයින්කොට පැමිණි දේවල්.

මාපියන්, ඥතීන්, ව්‍යාපාර, ඉඩකඩම්, සමාජත්වය, කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියයන් හයට ඇලෙන දේවල් අයින්කොට දමා පැමිණ ඇත්තේ, ඒ සියල්ල අතහැරීම සඳහා ය. දැන් අරමුණ පැහැදිලිය.

එසේ නම් ඔබ සොයා යා යුත්තේ අතහැරීම පුහුණුවීමට සුදුසු රැස්‌කිරීම නොකරන ස්‌ථානයකි. මොනවා රැස්‌ නොකරන ස්‌ථානයක්‌ද? කෙළෙස්‌ රැස්‌ නොකරන ස්‌ථානයකි. සුවසේ සිත වැඩෙන ස්‌ථානයකි. එවැනි ආරණ්‍යයක්‌, ශූන්‍යාගාරයක්‌ නොමැති නම් නිවන් මඟ වඩන ගුරුවරයකුගේ ඇසුර ලබා ගනිමින් හුදකෙලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටුවුණු ස්‌ථාන මඟහරින්න. ඉහත ස්‌වභාවයන් ශාසනය රැකීමට, සුගතිගාමී නැවත උපතක්‌ ලැබීමට ඔබට උපකාර වනවා විනා, මේ ආත්ම භාවයේ දී නිවන් දැකීම උදෙසා ඔබට උපකාරී නොවේ. ඉහත ස්‌වභාවයන් ඔබ ස්‌පර්ශ කිරීමෙන් නිවන් මඟ භව මඟක්‌ බවට පත්වීමට පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යැම, තවමත් ඔබගේ ස්‌වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග ගසාගෙන යැමට නොව උඩුගංබලා පිහිනා යැමය. ඔබ අදක්‌ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස්‌ විදෙස්‌ ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පැමිණීමට ඔබට සිදුවනු ඇත. ඔබ කිසිවක්‌ අල්ලා නොගන්න. අල්ලාගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අතහැරීමට පුරුදු කරන්න. ඔබ වයසින්. ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයෙක්‌ ලෙස අරමුණක්‌ ඇතිව ශාසනයට පැමිණි කෙනෙක්‌ බව සිතන්න. එහෙත් තමා ගැන අධි තක්‌සේරුවකට නොඑන්න වගබලාගන්න.

සාමණේර ශීලය, උපසම්පදා ශීලය, ඉක්‌මවා ගිය ශීලයක්‌ මේ ශාසනය තුළ තිබෙන බව දකින්න. එම ශීලය තව කෙනකුන් ගෙන් ලැබිය හැකි දෙයක්‌ නොව, තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන් තමා තමාවම පිහිටකොට ලබාගත යුත්තක්‌ බව සිහි තබා ගන්න.

විනය යනු සුවසේ නිවන් මඟ තරණය කිරීමට ඇති මෙවලමක්‌ මිස, තමාගේ දෑත් දෙපා ස්‌ව කැමැත්තෙන් බැඳ ගන්නා වරපටක්‌ හෝ තමන්ගේ නිදහස මරා ගන්නා පෝරකයක්‌ නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක්‌ නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක්‌ උපයෝගී කරගන්නා සේ, විනය ඔබ සුවසේ නිවන් මඟ තරණය කිරීමට යොදා ගන්න. ගුවන් භටයා තම දෙපා පොළොවේ ස්‌පර්ශ වන සැණින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින් නිවැරැදි වෙමින් අතහරින දෙයක්‌ මිස බදාගන්නා දෙයක්‌ නොවේ. වැරැදි අතහැරීමට විනය බදා ගැනීම තුළ රැස්‌වන්නේ තණ්‌හාවයි. තණ්‌හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුළ මා ඇතැයිද, මා තුළ විනය ඇතැයිද ග්‍රහණය කර නොගැනීමට අප වගබලාගත යුතුය.

විනය යනු සතිය සහ සිහියයි. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. ධර්මයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුළ ජීවත්වීමයි. විනය අත්‍යවශ්‍යය. ඒ නැවත නැවත වැරැදි කිරීමට නොවේ. වැරැදි කිරීමේ ස්‌වභාවයෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරැදි අතහැරීමටය. විනය වෙනුවෙන් කැපවීම ඔබගේ දුර්වලතාවකි. විනය සමගින් ගැටෙමින් නොසිට ඔබගේ දුර්වලකම් සතියෙන් හෙවත් සිහියෙන් යුතුව මඟහරවා ගන්න. විනය ගැන ලියවුණු පොත් සියයක්‌ ඇතොත් ඒ පොත් සියයම එක මත එක තබා, පොත් සියයටම උඩින් “ෙච්තනාහං භික්‌ඛවේ කම්මන් වදාමි” යන බුදු බණ පදය තබන්න.

නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම් ඔබ අදක්‌ෂ නම්, මාන්නය, උද්ධච්ච භාවය, මාර්ග ඵල උම්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්‌මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොවුණහොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධි තක්‌සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙර සූදානම්, සැලසුම්වලින් හිස්‌වන්න. කිසිම ආයාසයක්‌ නොකරන්න. ඉරහඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්‌වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්‌වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්‌වභාව ධර්මයේම කොටසක්‌ වන්න. ස්‌වභාව ධර්මයත් ඔබත් අතර පරතරයක්‌ නොතබන්න. බැසයන සඳත්, නැඟ එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක්‌ වන්න. බුදු ගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන්න නිරතුරුව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක්‌ පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේව බව අත්දැකීමෙන් දකින්න.

නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. නිහතමානිකම යනු හීනමානය නොවේ. භික්‍ෂුව යනු මෙලොව සිටින ජවසම්පන්නව ඉලක්‌කය කරා හඹායන පුද්ගලයාම විය යුතුය. ඔහුව ඉක්‌මවීමට සමතෙක්‌ මේ තුන් ලෝකයේවත් නැත. මහ වනයේ තනිවම සරණ ඇතකු සේ ඔබ සොයන නිදහස ඔබම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී රාත්‍රිය, දහවල, වැස්‌ස, ශීත, කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කිරීමට නොහැකිය. මෙලොව සිටින ජවසම්පන්නම පුද්ගලයා සේ ඔබ කෙලෙස්‌ මාරයාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක්‌ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියකුට බ්‍රහ්මයකුට කළ නොහැක්‌කකි. ඔහුට හැකියාව ඇත්තේ ඔබට සාධුකාර දීමය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම්කොට ඔබේ දෝතට ගෙන, ඔබ මේ ලෝකයෙන් එතෙර වූ මුණිවරයෙක්‌ වන්න. ඔබට එය හැකි වන්නේ එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම යන බරපතල තීරණය ගැනීමට සමත් වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.

ඔබ දුක්‌ උදෙසා දුක්‌ විඳිනවා එහෙත් අප….

මහ රහතුන් වැඩි මග ඔස්සේ

ආරණ්‍යවාසී භික්‌ෂුව ඇවැතුම් පැවැතුම්වලින් මෙන්ම දසුනෙන්ද ශාන්තය. එහෙත් ආරණ්‍යවාසී භික්‍ෂු සමාජය සිටින්නේ ගිහි සමාජයට දුරිනි. පහසුකම් අවම, වන සතුන් ගහන වනයේ උන්වහන්සේලා සිත් අලවා වාසය කරති. ඇතැමෙක්‌ට මේ චර්යාව ප්‍රශ්නයකි. මේ ස්‌වාමීන්වහන්සේලා ගිහියන්ගේ දහම් කටයුතුවලට දායක වීම අල්ප බැවින් සමහරක්‌ ගිහි පිරිස්‌ මේ චර්යාව විවේචනය කරන්නාවූ අවස්‌ථාද අසා ඇත්තෙමි. මෙය නොහඳුනන්නෝ ඒ නොදන්නාකමින් පාපයන් රැස්‌කරති. මෙම ආරණ්‍යවාසී දිවි පෙවෙත සහ එහි හර පද්ධතිය ගැන ලොවට විවෘත වුවහොත් එය නොදන්නාකමින් පව් රැස්‌කරන ගිහියන්ට මෙන්ම මෙම ආරණ්‍ය සම්ප්‍රදායේ සැබෑ හරය සොයනා පැවිදි උතුමන්ටද සරණක්‌ වනු ඇත. ඒ වෙනුවෙන් මම පඬු සිවුරු දරන, පිණ්‌ඩපාතයේ වඩින, වනයේ සරන, බාහිර ක්‍රියාවෙන් මෙන්ම ආධ්‍යාත්මයෙන්ද සැබෑ බුදුපුතකුගේ අදහස්‌ පැතීමි. ආරණ්‍ය වාසය ගැන කිසිවක්‌ නොදන්නා අයකුගේ මානසිකත්වයකට ආරෝපණය වී ප්‍රශ්න කිහිපයක්‌ මතුකළෙමි. ඒවාට ගාම්භීර පිළිතුරු සැපයූ උන්වහන්සේ අලි,කොටි, වලසුන් වෙසෙන වනමැදක වන අරහත් භූමියක ගල් කුටියක විවේකීව වැඩවාසය කරති. විවේකය අතිශයින් අගයකරන ඒ බුද්ධපුත්‍රයාණෝ එම විවේකයට බාධා නොවීම පිණිස සිය අනන්‍යතාව හෝ වැඩවෙසෙන වන අරණ ගැන මෙහි සඳහන්කරනු අකැමැති බව මම දනිමි. එනිසා ඒ කිසිවක්‌ සඳහන් නොකර මේ සාකච්ජාව පමණක්‌ ඉදිරිපත් කරමි.

මම – ස්‌වාමීන් වහන්ස, ඇයි ඔබ වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා ලෙසින් මෙලෙස කැලෑ තුළම ජීවත් වන්නට තීරණය කළේ?

භික්‍ෂුව – අපේ ඉලක්‌කය කරා යන්නට එය පහසුවක්‌ වන නිසා

මම – ඒත් මේ ජීවිතය හරි දුෂ්කරයි නේද?

භික්‍ෂුව – දුෂ්කර කියන වචනය ඔබ අර්ථ දක්‌වන විදිහට නම් එහෙම වෙන්න ඇති

මම – ඔබ වහන්සේ එහෙම පවසන්නේ දැන් ඔබට දුක පත්තියං වෙලා.. ඒ කියන්නේ දුක හුරුවෙලා නිසාද?

භික්‍ෂුව – දුක හුරුවෙලා නිසා නෙමෙයි. දුක අවබෝධ කරගන්න උත්සාහ කරන නිසා

මම – ඒත් යථාර්ථය දුක්‌ විඳිනවා කියන එකමයි…?

භික්‍ෂුව – හොඳයි මම ඔබගෙන් මෙහෙම ඇහුවොත්…..

ප්‍රමාදයද දුක? අප්‍රමාදයද දුක?

මම – ප්‍රමාදයයි

භික්‍ෂුව – හා… එහෙනම් ඔබ ඔය ඔබේ කාලය සහ අනිකුත් දේවල් ඉතා මහන්සිවෙලා සැලසුම් කරන්නේ මොකටද? කාලයට සාපේක්‍ෂව අප්‍රමාදී වන්න නේද? ලෞකික දේවල් පහසුවෙන් රැස්‌කරගන්න නේද? ඒත් ඒ සැලසුම්වලින් ඔබ රැස්‌කරන්නේ ලෝකයේ පැවැත්මට අදාළ දේම නේද? ලෝකයේ නැවැත්මට නැත්නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ පිරුණු මේ ලෝකයෙන් ඈත් වෙන්න ඔබ සැලසුම් සකස්‌කරනවද? මේ ඝෝර කටුක සංසාරයෙන් ඈත් වෙන්න නේද අප්‍රමාදී විය යුත්තේ. ඔරලෝසුවට අනුව ඔබගේ අප්‍රමාදය ඇත්තටම ප්‍රමාදයක්‌ උදෙසාම නේද? ඔය මහන්සිවෙලා පෙර සැලසුම් හදාගන්නේ තව තවත් දුකම රැස්‌කරන්න නේද? ඒ කියන්නේ ඔබ දුක්‌ විඳින්න සැලසුම් හදනවා. ඒත් අපි එහෙමද? අප්‍රමාදය උදෙසාම කැපවීම නිසා කාලයවත්, වෙන දෙයක්‌ ගැනවත් කිසිම සැලැස්‌මක්‌ අපට අදාළ වන්නේ නැහැ. ඒ නිසාම ඔබට සාපේක්‍ෂව අප දිවිය සැහැල්ලුයි. අපට දුක අඩුයි. ඇත්තටම එහෙම බලද්දි අපට දුකක්‌ ඇත්තෙම නෑ. හැබැයි මෙහෙම දෙයක්‌ තියෙනවා. අපට යම් යම් පහසුකම් අවම තමයි. ලැබුණු දෙයකින් සතුටු වෙන්න වෙනවා. එක වේලකින් ඉන්නත් වෙනවා. පිණ්‌ඩපාතය වඩින්නත් වෙනවා. ඒක පීඩාවක්‌. හැබැයි ඒ කිsසිවක්‌ සඳහා ඔබ තරම් නම් මහන්සිවෙන්නෙ නැහැ. ඔබ ඉගෙනගන්න ඕනි. රස්‌සාවල් කරන්න ඕනි. අඹු දරුවන් පෝෂණය කරන්න ඕනි. ඒත් ඒ ඉවරයක්‌ නැති සටනෙදි ඔබට වැඩිපුරම රැස්‌වෙන්නේ අකුසල්ම නේද? ඒ සටනේ ඉවරයක්‌ තියෙනවද? ඒකෙ කෙළවර අවිනිශ්චිතයි. ඒත් අපි එහෙම නෙමෙයි. මේක අපි දැනගෙන යන ගමනක්‌. ඒකේ අවසානයක්‌ තියෙනවා. එය සැබෑ අවසානයක්‌ කරා යන ගමනක්‌. අපි එය අතිවිඳිමිනුයි මේ ගමන යන්නේ . අත් දකිමිනුයි යන්නේ. දුකක්‌ හෝ අපහසුවක්‌ නිසා අපට වැඩෙන්නේ කුසල් නම්. දීර්ඝ කාලීනව බලද්දී ඒ කුසලයන් දුකෙන් සදහටම මිදෙන්න අපට හේතුවක්‌ වෙනවා නම් ඒක සැපයක්‌ නෙමෙයිද?

එහෙනම් යථාර්ථය ඔබ දුක්‌ උදෙසා දුක්‌ විඳිනවා. අපි ලොව වඩාත් ශ්‍රේෂ්ඨ සැපය උදෙසා සැප විඳිනවා.

මම – පඬු පොවපු සිවුරු පොරවන, පිණ්‌ඩපාතයේ වඩින ස්‌වාමීන් වහන්සේලා නගරයේත් වැඩ ඉන්නවා. උන්වහන්සේලා තමන්ද ආරණ්‍යවාසී භික්‍ෂූන් ලෙසින් හඳුන්වාගන්නවා. ඒ කියන්නේ ආරණ්‍යවාසි භික්‍ෂු සම්ප්‍රදායට නගරය බාධාවක්‌ නොවෙන බවද?

භික්‍ෂුව – වඩා වැදගත් වන්නේ කැලේ සිටිමින් ආරණ්‍යවාසී ලේබලය ගසාගැනීමවත් ගමේ හිඳිමින් ග්‍රාමවාසී ලේබලය ගසා ගැනීමවත් නෙමෙයි. ඒ දෙකම අයිති දුකටයි. භික්‍ෂුව කියන්නේ සසර බිය දකිමින් ඉන් එතෙරවන්නට උත්සහ කරන කෙනෙක්‌. කොහේ හෝ භික්‍ෂුවක්‌ සිටිනවා නම් ඒ භික්‍ෂුවගේ අරමුණ සසරින් නිදහස්‌වීමම වියයුතුයි. ඒ නිසා උන්වහන්සේ විසින් අනුගමනය කළ යුත්තේ දුකින් නිදහස්‌වීමේ මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් ඒකට කැලේම විය යුතු නැහැ. ඇත්තටම ආරණ්‍ය සම්ප්‍රදාය කියන්නේ භික්‍ෂු ප්‍රතිපදාවකටයි. පඬු ගහපු සිවුරු පෙරවීමත්, පිණ්‌ඩපාතය වැඩීමත් භික්‍ෂු සම්ප්‍රදායේ අංග දෙකක්‌ මිස සැබෑ භික්‍ෂු ප්‍රතිපදාවේ හරය නෙමෙයි. භික්‍ෂුවක්‌ නගරයේ සිටියත් ඒ ප්‍රතිපදාව තුළ නම් වැඩ ඉන්නේ, ආරණ්‍යවාසී භික්‌ෂුවක්‌ ලෙසින් උන්වහන්සේව හැඳින්වීම වරදක්‌ නැහැනේ? ලේබලය ඒ තරම් වැදගත් නැහැ.

ඒත් අමතක කරන්න එපා බුද්ධ දේශනාව. නගරයේ පළිබෝධ වැඩි නිසයි zපිංවත් මහණෙනි, ඔය තියෙන්නේ වන සෙනසුන්, ගස්‌ මුල්, ශුන්‍යාගාර…

ඉතින් අප්‍රමාදී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් උන්වහන්සේ පවා අනුදැන වදාළේ නිවන් මග යැමේදි හුදෙකලා වනසෙනසුන් පරිහරණය කරන්න කියලා හේතුවක්‌ නිසාමයි. බුදු කෙනෙකු අහේතුකව දෙයක්‌ දේශනා කරන්නේ නැහැ. ඒ වගේම බුදු හාමුදුරුවො ඇතුළු සියලු මහ රහතන් වහන්සේලා සිය ඉලක්‌කයන් සපුරගත්තේත් හුදෙකලා වන සෙනසුන් ඇසුරුකරලයි.එහෙම බැලුqවහම බුදුහාමුදුරුවොත් ආරණ්‍යාවාසී. සැරියුත් හාමුදුරුවොත් එහෙමයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එහෙමයි. තමන්ගේ කාර්යය සපුරාගත්තට පසුව තවදුරටත් වනවාසීව සිටීමට එකල බහුතරයක්‌ ස්‌වාමීන් වහන්සේලාට අවශ්‍ය වුණේ නැහැ. ඒකටත් හේතුවක්‌ තියෙනවා. පුරපු පාරමී අනුව අනෙකුත් සත්වයන්ටත් සසර දුකින් එතෙරවීමට අවශ්‍ය මාර්ගය පෙන්වාදීම උන්වහන්සේලාගේ මූලිකත්වයෙන් සිදුවිය යුතුව තිබූ දෙයක්‌ වුණා. ප්‍රතිපදාව වඩන කෙනෙකුට නගරය බාධාවක්‌ වුණාට ප්‍රතිපදාව සම්පූර්ණ කරගත්තු කෙනෙකුට නගරය බාධාවක්‌ වෙන්න බෑනේ.

මම – ස්‌වාමීන් වහන්ස ඇත්තටම මොකද්ද මේ හුදෙකලා ආරණ්‍යවාසී ජීවිතයක තියෙන වෙනස, නැතිනම් වටිනාකම

භික්‍ෂුව – සරලයි. හරිම නිදහස්‌. භාහිර බලපෑම් නෑ. ඒ වගේම කාමයන් අඩුයි. හරිම සුවදායකයි. අල්පේච්ජතාව නිසා බලාපොරොත්තුත් අඩයි. එකම ඉලක්‌කය නිවන නිසා ඒක සපුරාගැනීමට ඒ සියල්ල පහසුවක්‌.

මම – ස්‌වාමීන් වහන්ස. ආරණ්‍යවාසී භික්‍ෂුව කැලයට ඇලිලා. ග්‍රාමවාසි භික්‍ෂුව නගරයට ඇලිලා. ඉතින් ඒ දෙකම එකයි නේද?

භික්‍ෂුව – ඇලීම කියන වචනාර්ථයෙන් ගත්තහම දෙකම එකයි. ඒත් ඒකෙ අදහස නිර්වචනය කිරීමෙදි එහෙම නැහැ. එතැනදි එය දෙවිදිහක්‌.

“රමණියානි අරඤ්ඤාණි…..” කියල ඉතා සුන්දර ගාථාවක්‌ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකෙ තේරුම තමයි ස්‌වභාවයෙන්ම රමණීය වූ වනසෙනසුන් කෙරෙහි කාමයන්ගෙන් වසඟවූ සාමාන්‍ය ජනයා කිසිසේත්ම ඇලෙන්නේ නැහැ. ඒත් කාමයන් නොසොයන වීතරාගී මුනිවරුන් ඒ වනසෙනසුන්වලට ඉතා ඇලුම් කරනවා කියන එකයි. ඒකෙන් පෙනෙනවා ආරණ්‍යවාසී භික්‍ෂුව කැලයට ඇලීම, නගරයේ කාමයන්ට ඇලීමට වඩා හැම අතින්ම ශේ්‍රෂ්ඨ බව. තේර තේරී ගාථා එහෙම හොඳින් කියවලා බලන්න… එතකොමට මේ ගැන හොඳින්ම තේරුම්යයි.

තවටිකක්‌ කියනවානම්, කාමයන් හොයාගෙන කවුරුවත් කැලේට යන්නේ නැහැ. ඒවායින් නිදහස්‌ වෙන්නයි කැලේට යන්නේ. එතකොට අරමුණත් පිරිසිදුයි. හුදෙකලා විවේකයට කැමති පිරිස්‌, සෑම අතින්ම පීඩාකාරී,අපිරිසිදු, ඝෝෂාකරී නගරයේ විශේෂයෙන් මේ වගේ කාලයක ඉන්න හිතන්නෙවත් නැහැ. ඒකයි ඇත්ත.

මම – ඔබ වහන්සේලා මරණයක මතක වස්‌ත්‍ර පූජාවට, මතක බණට, දායකයාට සෙත් පතන බෝධිපූජාවකට සහභාගීවන්නේ නැහැ. ඇත්තෙන්ම මෙතැනදි කෙනෙකුට හිතෙන්න පුළුවන් ආරණවාසී භික්‍ෂුව හුදු ආත්මාර්ථයක්‌ උදෙසා උත්සහවත් වන කෙනෙකු හැටියට. මේ ගැන ඔබවහන්සේගේ අදහස?

භික්‍ෂුව – ඔය දෙවිදිහකට පිළිතුරුදෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයා පරාර්ථය අර්ථ දක්‌වන්නේ අන්‍යයන්ට අර්ථයක්‌ නැතිනම් යහපතක්‌ සැලසීම සඳහා කැපවීම කියන අර්ථයෙන්. ඒත් ඇත්තටම එතැනදි සිදුවන්නේ අනුන්ව තව තවත් දුක තුළටම ගාල් කිරීමට, දුකේ සිටින තමනුත් දුක්‌විඳීමයි.නැතිනම් අනුන්ගේ දුකේ කොටස්‌කාරයෙක්‌ වීමයි. ඒක කොහොමද අර්ථවත් දෙයක්‌ වෙන්නෙ. ඒ වගේම සාමාන්‍ය ලෝකයා ආත්මාර්ථය අර්ථදක්‌වන්නේ තමා උදෙසා රැස්‌කිරීම කියන නිර්වචනයේ පිහිටලයි. ඒත් ලෝකයේ කවුද තමා දෙසම බලමින් තමා තුළින් සකස්‌වෙලා තියෙන මුළුමහත් ලෝකයම හෙවත් දුක අතහැරීමට, එනම් රැස්‌කිරීම වෙනුවට අතහැරීමට, ආත්මාර්ථය කියා කියන්නේ. ඒක්‌ සාමාන්‍ය කෙලෙස්‌බරිත ලෝකයාට හිතාගන්නවත් බැරි දෙයක්‌. සංසිද්ධියක්‌. ඒ තුළින් කරන්නේ ලොව අතිශයින්ම විස්‌මිත හෙළිදරව්ව නිසා අදටත් අප්‍රමාන දෙව් මිනිසුන් මේ සංසාරයෙන් සදහටම නිදහස්‌ වෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව කිසිසේත්ම ආත්මාර්ථකාමයක්‌ නෙමෙයි. ස්‌වාර්ථය තුළින් වඩා අර්ථවත් වූ පරාර්ථයක්‌ නිර්මාණය කිරීම කියලයි සැබැවින්ම එයට කිව යුත්තේ.

අනිත් විදිහට බැලුවොත් ඇත්තෙන්ම නිවන කියන්නේ ආත්මාර්ථයක්‌මයි. තමා උදෙසා රැස්‌කිරීමක්‌ මෙතැනදිත් වෙනවා. හැබැයි ඒ ඔබ සියලු දෙනා රැස්‌කරන කාමයන් නොවෙයි. ඒවා අස්‌කිරීම තුළින් රැස්‌වන කුසල්වලට, නැතිනම් පාරමී වලට නිවන්මඟේ යන භික්‍ෂුව ඇත්තටම ලෝභයි. එනිසා තමයි වෙස්‌සන්තර රජතුමා බුදුබව පතාගෙන දරුවන් දන්දුන්නේ. දරුවන් දෙදෙනා දන් දී මුළුමහත් ලෝකයේම දරුවන් ගලවාගැනීමට උන්වහන්සේට හැකිවුණේ ඒ ආත්මාර්ථය මුල්කරගත් නිසයි. බුදුවරු ලොව පහළවන්නේත් පළමුව තමාට එම ස්‌වාර්ථය ලබාගෙන මුළුමහත් ලෝකයටම එය ලබාදීමටයි. ඒ අනුව පළමුව එය ආත්මාර්ථයක්‌මයි. නමුත් පසුව ලොව ශ්‍රේෂ්ඨම පරාර්ථය වන්නේත් ඒ ආත්මාර්ථයයි. අපි හිතන්නනේ කවුරුන්හරි වැලපෙද්දී ඔවුන් සමග වැලපීම පරාර්ථය ලෙසයිs. ඒක කොයි තරම් මුළාවක්‌ද?

මම – අපි දැක්‌කා ආරණ්‍ය භික්‍ෂූන්වහන්සේලා පාත්‍ර කළුකිරීම, සිවුරු මැසීම, පඬු සකසා ගැනීම, ඒ වගේම පාවහන්වත් නොමැතිව පිණ්‌ඩපාතයේ වැඩීම වැනි ඉතා දුෂ්කර සහ වෙහෙසකර කාර්යයන්වල යෙදෙන විදිහ. ඇත්තෙන්ම අද මේ සියලු දේ දායකයන් වෙතින් ඉතා පහසුවෙන් ලබාගැනීමට අවස්‌ථාව තිබියදීත් එවැනි දුෂ්කර ප්‍රතිපදාවක යෙදීම අත්‍යවශ්‍යමද? ඒක අනවශ්‍ය පීඩාවක්‌ නෙමෙයිද?

භික්‍ෂුව – බුද්ධකාරක කෘත්‍ය සහ ශ්‍රමණකාරක කෘත්‍යය ලෙස සෑම කාලයකම සියලු බුදුවරුන්, පසේ බදුවරුන් මෙන්ම රහතන් වහන්සේලා විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒ සඳහා ආර්ය ප්‍රතිපදාව කියලා පොදුවේ කියනවා. ආර්ය කියන්නේ උසස්‌, උත්තම කියන අර්ථයෙන් . දෙව් බඹුන්ටත් වඩා උසස්‌ වූ භාග්‍යවතුන් වහන්සේ යම් ක්‍රමවේදයක්‌ අනුගමනය කළේනම්, යම් ක්‍රමවේදයක්‌ තම ශ්‍රාවක පිරිස උදෙසා අනුදැන වදාළේ නම් ඒ ක්‍රමවේදය ඒකාන්තයෙන්ම ලෝකයේ නිවැරදිම පිරිසිදුම සහ ශ්‍රේෂ්ඨම ක්‍රමවේදයයි. එමගින් භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක පිරිස අන්‍ය වූ සියලු ශ්‍රමණ, බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය මෙන්ම දේව, බ්‍රහ්ම සහ මාර පිරිසෙන් වෙන්කොට හඳුනාගත හැකි පරිදි සියලු පිරිස්‌ අභිබවා යන ලොව උත්කෘෂ්ටම පිරිස බවට පත්කරනු ලැබුවේ එම ආර්ය ප්‍රතිපාදව මගිනුයි. බුදු, පසේබුදු සහ මහරහත් යන තුන් පිරිස විසින්ම අඛණ්‌ඩව පවත්වාගෙන ආ එම ප්‍රතිපදාව කොතරම් වෙහෙසක්‌ වුවත් ඒ ප්‍රතිපදාව රැකිය යුතු වන්නේ එය ලොව ආශ්චර්යමත්ම පෞරුෂයක්‌ ගොඩනගාගැනීම සඳහා හේතුවන උත්තම හෙවත් ආර්ය ප්‍රතිපදාව නිසයි. නැතිව ආරණ්‍ය ප්‍රතිපදාව නෙමෙයි. යම් ශ්‍රාවකයකුට තම ශ්‍රාවකත්වය සහ සාර්ථකත්වය පිළිබඳ යම් අභිමානයක්‌ ඇත්නම් ඒ ආර්ය ප්‍රතිපදාවේ උන්වහන්සේ බැසගන්නේ නිවන ඔහුගේ ඉලක්‌කය නිසයි. දුෂ්කර වුවත් මේවා වැඩීමෙන් නූපන් කුසල් ඉපදීමත්, ඉපදුණු කුසලයන්ගේ වර්ධනය මෙන්ම බෝධි පාක්‍ෂික සියලු ධර්මතා වැඩි දියුණුවීමත් හේතුවෙනවා. ඒ සියල්ලම නිවන්මගට උපකාරවන බැවින් ආර්ය ප්‍රතිපදාව කියලා කියනවා.

මම – ස්‌වාමීන්වහන්ස, ඔබ වහන්සේ කිව්වා පිණ්‌ඩපාතයේ කිරීම, පඬු සිවුරු දැරීම ආරණ්‍ය සම්ප්‍රදායේ අංග පමණයි කියලා. එහෙනම් ඔබවහන්සේට හිතෙන හැටියට ආරණ්‍යවාසී භික්‍ෂුවක්‌ මොනවිදිහේ කෙනෙක්‌ විය යුතුද?

භික්‍ෂුව – මට හිතෙන හැටි නෙමෙයි. සැබෑ ආරණ්‍යවාසී භික්‍ෂුව මොනවිදිහේ කෙනෙක්‌ විය යුතුද කියලා ඉලක්‌කයටම උත්තරදීලා තියෙනවා අප සාරිපුත්ත මහරහතන් වහන්සේ. සූත්‍ර පිටකයට අයත් මඣිම නිකායේ දෙවැනි කොටසේ තිබෙන ගුලිස්‌සානි කියන සූත්‍රයෙන් ලස්‌සනට එය පැහැදිලි කරලා දෙනවා. ගුලිස්‌සානි කියන භික්‍ෂුව උදෙසා දේශනාකරල තිබෙන මෙම සූත්‍රයෙන් සංඝයා වහන්සේලා අතර වෙසෙන ආරණ්‍යවාසී භික්‍ෂුවක්‌ තුළ තිබෙන ලක්‍ෂණ 17 ක්‌ විස්‌තර කෙරෙනවා.

එකී ලක්‍ෂණයෙන්ගෙන් තොරව වෙසෙන ආරණ්‍යවාසී භික්‍ෂුවට ආරණ්‍යවාසීව සිටීමෙන් වන ඵලය කුමක්‌දැයි, අන්‍යයන්ගෙන් ගැරහීමටත් අපහාස විදීමටත් සිදුවන නිසා උන්වහන්සේලාට එම දෝෂයන්ගෙන් දුරුවීම පිණිසයි මේ සූත්‍රය දේශනා කර තිබෙන්නේ. ඒ අනුව ආරණ්‍යවාසී භික්‍ෂුව මොන විදිහේ කෙනෙක්‌ද කියලා හරියටම අදහසක්‌ ගන්න පුළුවන්. එහි සඳහන් ආකාරය ආරණ්‍යවාසී භික්‍ෂුව මේ කියන්නාවූ කාරණාවලින් සම්පූර්ණ වීම හෝ ඒ සඳහා උත්සහවත් වන අයෙක්‌ විය යුතුවේ.

  1. බ්‍රහ්මචාරීන් වහන්සේලා තමන් සමග සිටින අනෙක්‌ ස්‌වාමීන්වහන්සේලා ගැන ඉතාම ගෞරවයෙන්, යටහත්පහත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු අයකු වීම
  2. වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි නිසි ගෞරවයෙන් උන්වහන්සේලාට ආසන පහසුකම් සලසාදීමත්, නවක භික්‍ෂූන්ගේ ආසනයන් උදුරාගැනීමෙන් වැළකුණු භික්‍ෂුවක්‌ වීම
  3. ඉතා උදෑසනින් ගමට පිණ්‌ඩපාතය පිණිස වැඩීමත් ඉතා දවල් වී ගමට නොයැම පිණිස ප්‍රවේශම්වන්නකු වීම
  4. උදේ කාලයේදී හෝ දහවල ආරාධනාවකින් තොරව ගිහි ගෙවල්වලට ගොස්‌ අන්‍යයන් හා කාලය ගතකිරීමෙන් හෙවත් විකාල චර්යාවෙන් වැළකිය යුතු වීම
  5. උඩගු හෝ චපල භික්‍ෂුවක්‌ නොවිය යුතුය
  6. වාචාල, විසුළු වචන වලින් වැළකුණු අයකුවීම
  7. කීකරු කල්‍යාණ මිත්‍රයන් ඇති අයකු වීම
  8. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්‌ත වීම
  9. භෝජනයෙහි පමණ දන්නා අයකු වීම
  10. නින්දට වහල්වන්නකු නොවීම
  11. කුසීතයකු නොවී ඇරඹූ වීර්ය ඇත්තෙකු වීම
  12. මුළාවූ සිහියෙන් යුක්‌ත නොවීම
  13. සමාහිත සිත් ඇත්තකු වීම
  14. වත් පිළිවෙත් පිරීමේදී දක්‍ෂ ප්‍රඥාවකින් යුතු භික්‍ෂුවක්‌ වීම
  15. සත්තිස්‌ බෝධිපාර්ශ්වික ධර්ම සහ ප්‍රතිමෝක්‍ෂ සංවර ශිලය පිළිබඳ යමෙක්‌ විමසූ කල ඒ ධර්මයන් මනාලෙස විග්‍රහ කිsරීමට හැකි දැනුමකින් සන්නද්ධව සිටීම.
  16. රූප අරූප සමාපත්ති ඉක්‌මවාගිය විමෝක්‍ෂය උදෙසා කටයුතු කරන්නකු වීම
  17. උතුම් මාර්ගඵල අවබෝධයන්ගෙන් යුක්‌ත භික්‍ෂුවක්‌ වීම යන කරුණුයි.

මෙම සාකච්ජාවෙන් ගම්‍ය වන්නේ කුමක්‌ද? අප විසින් බාහිර නිරීක්‍ෂණය කිරීමට සහ හැඳින්වීමට යෙදෙන සියල්ල අභිභාවායන්නාවූ සැබෑ ආරණ්‍ය සම්ප්‍රදාය ක්‍රියාත්මක වන්නේ භික්‍ෂු ප්‍රතිපදාවේ ආධ්‍යාත්මිකත්වය හා ඒකාබද්ධව බවයි. වත්මන් ආරණ්‍ය සම්ප්‍රදාය සැරියුත් – මුගලන් මහ රහතන්වහන්සේලා වැඩි මගෙහි කැඩපතයි. එය වසර 2600ක්‌ පුරා නිරුපද්‍රිතය. පූජනීයය. එය මුළුමහත් ලෝකයට අත්වූ ලාභයකි. අප තිලෝගුරු බුදුපියාණන්ගේ මුඛ්‍ය පරමාර්ථ වූයේ සුන්දර, ජනප්‍රිය ආරණ්‍ය ප්‍රතිපදාවක්‌ තුළ තම ශ්‍රාවකයන් රඳවාතැබීම නොව, ඒ භාග්‍යවත් වූ ආර්ය ප්‍රතිපදාව තුළ තම ශ්‍රාවකයන්ගේ විමුක්‌තිය සාක්‍ෂාත් කරවන්නට සැලසීමයි. එබැවින් සැබෑ ආරණ්‍යවාසී භික්‍ෂු ප්‍රතිපදාවේ හර පද්ධතිය විනිශ්චය කරගැනීමට නොහැකිව වනවාසී භික්‍ෂු සම්මතයේ පවතින හුදු චර්යාරටාවන් හා බැඳී සංස්‌කෘතිය බවට පත්වූ ලක්‍ෂණ කිහිපයක්‌, ආධ්‍යාත්මය වඩවා ගැනීම පිණිස ප්‍රායෝගිකව යෙදෙන්නේ කෙසේද යන්න මැනවින් පැහැදිලි විය. එය ගිහි පැවිදි දෙපාර්ශ්වයටම එකසේ වටින්නේ යෑයි සිතමි. ඒ උදෙසා මේ උතුම් දහම් කරුණු දානයක්‌ කර දුන් ඒ පිංවත් භික්‍ෂූන්වහන්සේගේ ඉලක්‌කයට මෙම කුසලය ජවයක්‌ම වේවා. නිවන් පිණිසම පාරමී වේවා.

Follow

Get every new post delivered to your Inbox.